දහවලේ බත් මුල සුවඳ විහිදු වනවා නම්
මෘදු පුළුන් කොට්ටයක් නුඹෙ පැත්තේ තිබේ නම්
කමිස - කලිසම් පොඩිව කිළිටිව නොවී නම්
හිතවත,
ඒ නුඹ මතම
නුඹ වෙතම සිත තිබූ බැවිනි.
කාකි කොළ පැහැ ගවුම මම අඳිනවා නම්
ම'රූන් සායමින් නිය ඔපදමා තිබේ නම්
කැරළි කොන්ඩය කඩා - විළවුන් ගල්වුවේ නම්
හිතවත,
ඒ නුඹ මතම
නුඹ වෙතම සිත - බැඳී තිබූ බැවිනි.
රෑ මැදක රතුව ඉදිමුණු දෙනෙත් කැඩපත දකී නම්
දුර නොවූ මායිමක් වෙත දහවලේ නෙත් රැඳේ නම්
කිළිටු කමිසය නුඹේ ඇඳන් තනිවම දොඩනවා නම්
හිතවත,
ඒ නුඹ මතම
නුඹ වෙතම සිත - තදින් බැඳී තිබූ බැවිනි.